11/27/2010

දියුණු මිනිසා සිරුරෙන් දුර්වල සත්ත්වයෙකි Is Human Sapiens perfect?

Posted by with 2 comments



මිනිසා කොතරම් දියුණු වුවද , දියුණුවෙන් දියුණුවට පත් වුවද, මිනිසා උපතින්ම ගෙන ආ දුර්වලතා රාශියකි. අද දින අප ඒ දෙස සාමාන්‍ය ඇසින් බලා පවසනුයේ, ස්වභාව ධර්මයට පිටු පෑමට මිනිසාටද නොහැකි බවයි. නමුත් නොවැරදීම අනාගතයේදී මිනිසා ඒ සියල්ලටම පිලිතුරු සොයනු ඇත. කෙටියෙන් පවසතොත් ස්වභාව ධර්මයට යටවීම නොරිස්සන මිනිසා, ක්‍රමයෙන් ස්වභාව ධර්මය උඩු යටිකුරු කරනු ඇත.
මිනිසා සවභාවයෙන් ම ගෙන ආ,  අදටත් පිලීතුරු නොලද එක් දුර්වලතාවයක් වන්නේ මිනිසාගේ දිරා යන සිරුරයි (මනස නොවේ). තවත් දුර්වලතාවක් නම්  ඔහුගේ මට සිලිටු දේහයයි. ඒ වාගේම මිනිසා ගමනා ගමනයේ දක්වන මන්දගාමී බව තවත් එක්  දුර්වලතාවකි. කුරුල්ලන් මාළුන් මිනිසාට වඩා කෙතරම් වේගවත්ද බලන්න.
ගමනා ගමනයේ මන්ද ගාමීත්වයට මිනිසා දැනටමත් පිළිතුරු සොයා ගෙන ඇත. එනම් කාර් බස් නැව් සහ ගුවන් යානාය. මේ ‍වාහන නැති අවධියයේදී මිනිසා ට රටක් කොතරම් විශාලව දැනෙන්නට ඇත්ද. එදා කන්ද උඩරට රාජධානියේ සිට කොළඹට පැමිණීම අද දින කොළඹ සිට ඇමරිකාවට යනවා මෙන් වන්නට ඇතැයි සිතමි. රට මැද සිටින පුද්ගලයකුට මහ සාගරය දැකීම ජිවිතයටම සිහිනයක් වී තිබෙන්නට ඇත. ඒ මිනිසාගේ මෙම ගමන් කිරීමේ වේගයේ පැවති දුර්වලතාවය නිසාය. ඊට පිලියම් සෙවු නූතනයේ අප රටේ නොව, ඉන්දියාව මධ්‍යකරයේ සිටින්නකුට පවා මහ සාගරය දැකීම එතරම් කජ්ජක් නොවේ. වාහන සොයා ගැනීම ගමනා ගමනයට පිලිතුරක් වුවාට අද වන විට එය නැවතත්  ගැටලුවක් වී තිබේ. එය මට කල්පනා වූයේ හදිසි ගමනක් යද්දී රථ වාහන තදබදයකට හසු ව බසයක සිරවී සිටින විටය. ඇත්ත වශයෙන්ම අද දින මිනිසා දැඩිව ඉල්ලන විසඳුමකි රථ වාහන තදබද ගැටළුව. මේ සඳහා ඉහලින් ගමන් කල හැකි අඩු වියදම් වාහනයක් නිපදවීම ඉදිරියේදී සිදු වනු ඇත. ඒ සඳහා එකම විසඳුම ගුරුතුවාකර්ෂණ ශක්තිය පාලනය කිරීමයි. නමුත් ‍අන් සියලු ශක්තින්හී පාලනය අතට ගත් මිනිසාට ගුරුත්ව ශක්තියේ පාලනය අතට ගැනීමට මෙතෙක් නොහැකි ව් තිබේ. නමුත් දියුණු රට වල මේ මොහොතේත් ඒ සඳහා දිවා රෑ වෙහෙසන මිනිසුන් සිටින බව නම් සිකුරුය. ඒ එම සොයා ගැනීමට ලැබෙන අති වීශාල ආර්ථික ඉල්ලුම නිසාමය.
කාර්මික විප්ලවයත්, වාහන සොයා ගැනීමත් සමග මිනිසාගේ සිරුරේ සියුම් බවට දැඩි බලපෑමක් එක් විය. කොතරම් මිනිසුන් යන්ත්‍රසූත්‍ර නිසා තුවාල ලබන්නේද එසේම වාහන අනතුරු වලින් දිනකට මිය යන්නේද. මෙයට හේතුව මිනිස් සිරුරේ මටසිලුටු බවය. එ සේ නම් මේ සඳහාද පිලිතුරක් මිනිසා වහ වහා සොයා ගත යුතුය. මා දකින ලෙස මෙයට විසඳුමක් ලෙස,අනාගතයේදී බරෙන් අඩු නමුත් ශක්තියෙන් වැඩි සිරුරු ආවරණයක් සියලුම මිනිසුන්ගේ අනිවාර්ය ඇගළුමක් වනු ඇත.
සිය සිරුර ආවරණය කර ගැනීමට ලෝහ ආවරණ ඇඳ ගත් විට මිනිසා භාහිර ද්‍රව්‍යන්ගෙන් සිදු වන අනතුරු වලින් ආරක්ෂා වනු ඇත. සිරුර විවෘත වී රුධිර වහනය වීම සහ අභ්‍යන්තර අවයව වලට හානි වීම නිසා සිදුවන මරණ අවම වනු ඇත. කොතරමි වාසනාවක්ද.
ඒ නමුත් ස්වභාවිකම සිරුර තුලින් අප වයසට යෑම නම් එමගින් නතර නොවේ. ඔව්, මිනිසා වයසට යයි. එය පැහැදිලි කිරීම අපහසුය. නමුත් අපගේ සිරුරු අවයව විවිධ අවධීන්‍හිදී උපරිම කාර්යක්ෂමතාව පෙන්වා අනතුරුව දුර්වලතාවයට පත් වේ. ඒ අනුව හදිසි අනතුරකින් හෝ, රෝගයක් වැලදීමෙන් හෝ නොවේනම් අනිවාර්යයෙන්ම මෙම වයසට යෑම නිසා මිනිසා මිය යනු ඇත. එසේ නම් මෙම කරුණු තුනට පිළියමක් සොයා ගැනීමට මිනිසාට හැකි වේද?
ඔව් මිනිසා එයටද මිනිසා පිළිතුරු සොයනු ඇත. “උපන්නොත් මරණය නියතයි” යන මන්තරය සැමදා මතුරමින් සිටීමට පුරුදු සත්ත්වයකු නොව මිනිසා. ඔහු උත්සහය අත් නොහරී. ආගමික මතය මෙම සිතුවිල්ලට දැඩි සෘණාත්මක බලපෑමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම නිසාම නිදහස්ව සිතන සමාජයක ජිවත් වන මිනිසුන් මෙම සොයා ගැනීමද කිරිමට වැඩි ඉඩකඩක් ඇති බව මම සිතමි.
මෙය විකාරයක්, කවදාවත් නොවන දෙයක් ලෙස ඔබ සිතන්නට පුළුවන. ඒ සැමදාම දකින දේ , සදහටම නියතයි යනුවෙන් සිතන්නට ඔබ පුරුදු වී සිටින බැවිනි.
එසේම, නිවුටන්ද එදා ගසෙන් වැටුනු ඇපල් ගෙඩිය දෙස එලෙසින්ම බලා සිට, එය අමතක කර නිවසට ගියා නම්......?

11/22/2010

අපරාධය හා දඩුවම Offence & Punishment

Posted by with No comments

මේ බෞද්ධ ර‍ටේ කොතරම් අපරාධ සිදු වෙනවද? ඒ අපරාධ වලට දඩුවම් කිරීමත් එහෙමමයි. මතක් කරල බලන්න කවුරු හෝ කෙනෙක් ඝාතනය වු විට ඹහුගේ සමීපමයන් කොයි තරම් දුක් වෙනවද, කුදුඵ සලනවද කියලා. ඔවුන් මොකක්ද රජයෙන් බලාපොරොත්තු වෙන්නේ, ඉල්ලා හිටින්නේ. “මේ අපරාධය කල අයට උපරිම දඩුවම් දෙන්න” කියලා නේද? රටේ හැම දෙනෙකුගෙම හදවත් සසල කල කුරිරු ඝාතන සිදු වූ විට, අපි සැවොම ඉල්ලා හිටියෙත් ඒකමයි. අපි ඇයි එහෙම ඉල්ලා සිටින්නේ කියල ඔබ කවදාවත් සිතල බැලුවද?
ඒ අපරාධකාරයාට උපරිම දඩුවම් දුන්නම ඔබේ ඝාතනයට ලක් වු සමීපමයට නැවත ජීවය ලැබෙනවද. නැහැ. එවැනි දඩුවමක් දුන්නම එක්තරා දුරකට අනේක් අපරාදකරුවන් මෙල්ල විමක් වෙනව තමයි. නමුත් අපි ඒ අවස්ථාවේ සිතන්නේ ඒ ගැනද. නැහැනේ , එහෙනම් අපේ සිතුවිල්ල “පලිගැනිම” කියල මම කිව්වොත්? එම නීත්‍යානුකූල පලිගැනීම තුලින් අපේම සිත අස්වසා ගැනිමයි අපට අවශ්‍ය වුනේ කියල මම කිව්වොත් , ඔබ මොකද කියන්නේ, පිලිගන්නව නේද?
අපරාධකරුවන් කෙරෙහි අපි අතර කොයි තරම් වෛරයක් තියෙනවද, අපරාධකරුවා දඩුවම් විඳීම දැකල, ඒ තරමටම සහනයක් අපි ලබනව. නමුත් කිසිදු පුද්ගලයකුට අපරාධකරුවෙක් වන්න සැබෑ උවමනාවක් තිබෙන්න හැකියාවක් නැහැනේ. ඔවුන්ව නිර්මාණය කරන්නේ අපේම සමාජයමයි. එම අපරාධකරුවන් ඒ තත්ත්වයට පත්වීමට හේතු සොයා ඊට පිලියම් යෙදීම තුලින් යහපත් පුදුගලයකු නැවත බිහි කල හැකියි. එසේ කල නොහැකි බවට පැහැදිලි අය පමණයි සිරකඳවුරු තුල තැබිය යුත්තේ.
උදාහරණයකට, කාන්තාවක් පවුල් ප්‍රශ්නයක් නිසා සිය කුඵදුල් දරුවා උපන් ගෙයිම මරා දමනවා කියලා හිතමු. අපි අර අම්මාව කොයි තරම් හංවඩු ගහනවද මේ ප්‍රවෘත්තිය දුටුවම. නමුත් ඒ අම්මටත් ඒ ගැන කියන්න කථාවක් ඇති. ඒ ගැන  අසන්න අපි සූදානම්ද. අනෙක් අතට ඒ දරුව මරන්න, ඒ අම්මා එදා සිටම බල බලා සිටියා කියල කාටවත් කියන්න පුලුවන්ද. එම අවස්ථාවේ මුහුණ දෙන ප්‍රශ්න, ගැටලු, අම්මා ගේ අධ්‍යාපන දැනුම, සංස්කෘතික බැඳීම්, විශේෂයෙන්ම ඇයගේ පෞර්ෂත්වය ආදි සියල්ලේම සංඝට්ටනයක් තුල, කල යුතු යැයි කියා  ඒ අම්මා සිතන දේ තමයි දරුවා මරා දැමීම. පසුව ඒ අම්මාත් ඒ ගැන පසු තැවෙනවා ඇති.  එම තත්ත්වයට ඔබ පත් වුවා නම් , සමහර විට ඔබ ඊට වඩා කලින් එම අපරාධය කරන්න පෙලඹෙන්නත් පුලුවනි ඔබේ පෞර්ෂත්වය දුරවල නම්. සිතන්න එපා ඔබ අද සිතන විදිහටමයි, ඒ අම්මාගේ තත්වයට පත් වූවාමත් සිතන්නේ කියලා. දැන් බලන්න , ලබන වසර තුල අනිවාර්යයෙන්ම කිසියම් සංඛ්‍යාවක් සිය දිවි හානි කර ගන්නවනේ. එය 100 යි සිතමු. ඒ සියලු දෙනා මේ වන විට මේ රටේ ජිවත් වෙනවනේ. නමුත් අද  සංගණනයක් කලොත් (සියල්ලෝ අවංක යැයි සිතුවොත්) 100 දෙනෙක් කියාවිද අපියි ඒ කියලා. නැහැ කොහෙත්ම නැහැ. සමහර විට එක් අයෙක් වත් නැති වේවි. ඒ ඇයි ඔවුන් දිවි හානි කරගන්නේ ඒ මොහොතේ ඔවුන් මුහුන දෙන කිසියම් ප්‍රශ්නයක් නිසා ඊට වඩා හොඳයි කියන “සිය දිවි හානි කර ගැනීම” තෝරාගැනී‍මෙන්.
“හතු” ගැන ඔබ දන්නවද. හතු කියන්නේ ගසක් නොවෙයි, දිලීරයක්. දිලිරයෙත් එක කොටසක් පමණයි. දිලිරයේ ප්‍රධාන කොටස පැතිරිල තියෙන්නේ පොලව යට , නැතිනම් දිරා ගිය කඳක් ඇතුලත. එය අපේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ ගැන කිසිම නිනව්වකුත් නැහැ. නමුත් හදිසියෙම උදෑසනක ඉහලට එන “හත්ත” හරි ප්‍රමුඛ ලෙස අපිට පෙනෙනව. අපි ඒ ගැන කථා කරනව. අපිට එපා නම් ඒක කඩල ඉවත් කරනව. නමුත් දිලීරයේ පුධාන කොටස තවම පොලොව යට. තව හතු ඕනෑම ‍ගණනක් දිනෙක උදෑසන මතු පිටට ඇවිත් තියෙන්න පුලුවන්.
මේ සමාජයේ අපරාධකරුවන් ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකමයි. අපි අපරාධයක් නෙත ගැටුනු විට කොයිතරම් ඒ ගැන කථා කරනවද. එල්ලුම් ගස නැවත ගෙනත් ඒ අපරාධකාරයව මෙලොවෙන් තුරන් කරන්නයි අපි වාද  කරන්නේ. එවැනි දඩුවමක් දිලා අපරාධකරුව මරල දැම්මොත්, අඩු ගනනේ , ජීවිත කාලයටම සිරගෙට යැවිවොත් , ඔබ කොතරම් සැනසුම් සුසුම් හෙලනවද? නමුත් මිනිසුනේ “ ඒ එක හත්තක් පමනයි “ කියා අමතක කරන්න එපා.
මේ රටේ අපරාධකරුවන් නිර්මාණය වීමට හේතු සොයා බලා ඊට පිලියම් කිරීම තුලින් පමණයි අපරාධ මැඩ පැවැත්විය හැක්කේ. මේ වන විටත් ස්ත්‍රියක දූෂණය කරන්නට, දරුවකු පැහැර ගන්නට, නිවෙසකට ඇතුඵ වී නිවැසියන් මරා හෝ දේපල සොරා ගැන්මට, තම සතුරා මරා දැමීමට, අවස්ථාවක් එලඹෙතොත් ඒ අනුව ක්‍රියාත්මක වීමට තරම් දූෂිත වු සිත් ඇති කී දාහක් අප අතර සිටිනවා ඇතිද? නමුත් අප “දිලිර” ගැන අවධානය යොමු නොකොට “හතු” ගැන පමණක් කරදර වේ නම්, මෙම සමාජයෙන් අපරාධ ඉවත් කිරීමට හැකි වෙතැයි සිතිය නොහැක.
එසේම ඔබ නම් කවදාත් ඒ තත්ත්වයට පත් නොවෙතැයි ඔබ සිතනවා ඇති නේද? නමුත් පවතින සමාජ ක්‍රමය තුල අපරාධකරුවන් නිශ්පාදනය වන්නේ අප තුලින්මය. එයයි සත්‍යය. වෙනස් වන්නේ විවිධ පුද්ගලයන් ඒ තත්ත්වයට පත් වන්නේ විවිධ මට්ටම් වලදීය යන්න පමණයි. උදාරණයකට, අපි විවිධ ද්‍රව්‍ය 10 ක් පමණ ගෙන රත් කලොත් විවිධ උෂ්ණත්ව මට්ටම් වලදි ඒවා උණු වෙනවා නේද. ඉටි නම් ඉක්මනටම උණු වේවි. නමුත් “අපි නම් දිය වන්නේ නැහැ” යැයි කයඩ වලට කිව හැකිද, නොහැක. කිසියම් උෂ්ණත්වයකදී යකඩ ද උණු වි යනු ඇත. එසේම අද අතේ සල්ලි නැතැයි කියා පාන් ගෙඩියක් සොරා ගන්නා පුදුගලයකු දැක, “මම නම් කවදාවත් එසේ නොකරමි” යැයි කිමට ඔබට අයිතියක් ඇත්ද? නැත මක් නිසාද යත් අගහිගකම් වලින් මිරිකී, දරිද්‍රතාවයෙන් ඹබ දැඩි ලෙස පිඩා විඳින යම් විටෙක, එම පාන් ගෙඩිය සොරා ගැනීමට ඔබටත් සිතෙන්නට යම් ඉඩකඩ ඇති බැවිනි.

11/20/2010

ස්වීප් ටිකට්.... ස්වීප් ටිකට්....හෙට අදිනවා.......Lottery Secrets

Posted by with No comments


ඔබත් ලොතරැයි ගන්නවාද? ඉතාම ටික දෙනෙක් ඕනෑම අංකයක් සහිත ලොතරැයියක් මිලට ගන්නා විට, සමහරෙක් ලොතරැයියේ අංක සොයන්නේ හරියට හෙට ඇදෙන ලොතරැයියේ අංක ටික දන්නවා වගේය.
ඉතිං ඔබත් එහෙම අයෙක් නම් කියන්න බලන්න මේ ටිකට් වලින් හෙට රෑ ජයග්‍රාහකයෙක් වෙන්න වඩාත්ම ඉඩ ඇති ටිකට් එක කෝකද කියලා.
Y777777   G900000   S123456    D835724
පලවෙනි එකනම් කීයටවත් ඇදෙන්නෙ නැති අංකයක්  කියල ඔබ කියාවි. එතකොට දෙවැනි එක? ඒ වගේ අංකයක් කවදාවත් ඇදිල තියෙනවද නේද? එත කොට තැන්වැන්න? ඒකත් එහෙමයි. මේ වගේ අංක ඇදෙයි කියල ඔබ නම් හිතන්නේ නැහැ නේද?  හතරවෙනි අංකය ගැන මොකද කියන්නේ ? ඔන්න ඒක නම් ඇදෙන්න ඉඩ තියෙනව කියල මබ හිතුව නම් , ඔබ ආයේ පාරක් අංක ගණිතය ඉගෙන ගන්න ඕන කියලයි මම කියන්නේ. මට නම් පෙනෙන්නේ නැහැ මෙම අංක හතරේ වෙනසක්. ඒ සේරම අංකනේ. එහෙනම් ඇයි අපි පලමු අංක තුන වෙනස් විදිහට දකින්නේ. එයට හේතුව තමයි ඔබේ අංක දැනුම අනුව, එම අංක වල සම්බන්ධතාවයක් දැකිම සහ එවැනි සම්බන්ධතාවයක් ඇති කරමින් ලොතරැයියක අංක ගැලපේවියැයි සිතන්නට ඔබ පැකිලීම.
එහෙමනම් අවසාන අංකයෙත් සම්බන්ධතාවයක් තියෙනව නේද බලන්න. 835 න් 111 අඩු කලාම 724 හැදෙනව. ඊටත් අමතරව ඒක අපේ ගෙදර දුරකතන අංකයත් වෙනව. එහෙමනම් ඒකත් ඇදෙන්න බැහැ නේද.
අපි සම්බන්ධතා සොයනව නම් ඕනෑම ගණෙනක අංක වල සම්බන්ධතාවයක් තියෙනව. එක සම්බන්ධතාවයක් නොවේ සම්බන්ධතා ගොඩක් තියෙනව. එහෙනම් හෙට ලොතරැයියටත් ඕනෑම අංකයක් එන්න පුලුවන් 

Image source theguardian.com


11/17/2010

අපේ රටේ සරණපාලලා........Art of being helpful

Posted by with No comments


අප අතර සිටින සමහර මිනිසුන් අර්ථයේ පරිසමාප්ත අර්ථයෙන්ම “සරණපාලලා”ය. ඔවුනට ඕන වැඩක් කර ගන්නට පුළුවන්ය. ඒ, සරණපාලලාට  ඕනෑම කාර්යාලයක, ගමක, නගරයක ඔහුගේ මිතුරන් සිටින බැවිනි. මෙවැනි සරණපාලලා ජනතාව අතර ජනප්‍රියය, ඔවුනට ඉහල පිලිගැනීමකි. තම මිතුරන්ට පමනක් නොව මිතුරන්ගේ මිතුරන්ටද මෙවැනි අය උදව් කරති. ඒ අනුව සරණපාලල තම මිතුරන් ප්‍රමාණයද දි‍නෙන් දින ඉහල දමා ගනී. මක්නිසාද සරණපාලලාගේ  “ වැඩක් කර ගැනිමේ හැකියාව”  වඩා බලවත්  වන්නේ  ඔහුට සිටින මිතුරන් ගණනවැඩි වෙන තරමටය. තවද සරණපාලා ගේ නිතර මුවග රැඳි වදනක් ඇත. එනම් “අපි මිනිසුන්ට උදව් කරන්න ඔනනේ” යන්නයි. නමුත් “තෙවැනි ඇස” ගේ අදහස නම් මෙවැන්නන් හිතා මතා හෝ නොදැනුවත්ව අප  සමාජයට ද්‍රෝහීන් බවයි. නිතිගරුක සමාජයක් සඳහා  මෙවැනි පුදුගලයින් බාදාවකි.
එක් සරණපාල අයෙක් තම මිතුරකුට රෝහලකින් බෙහෙත් ගන්න උදව් කරනවා යැයි මොහොතකට සිතන්න. එවිට ඔහු කරනුයේ ඔහුගේ රෝහල් මිතුරෙකුට මේ බව පැවසීමය. අනතුරුව රෝහලට යන පුද්ගලයාට පොලිම් වල නොසිටම වෛද්‍යවරයා හමුවීමට ඉඩ ලැබෙයි. බෙහෙත් ටිකද එසේමය. රෝහලේ නතර වන්නේ නම් රොගී තත්ත්වය නොසලකා ඇඳක්ද ලැබේ. අනෙක් රෝගින්ට ෆාමසියෙන් ගන්නැයි පවසන බෙහෙත් ටිකද ඔහුට නොමිලේම රෝහලෙනි.  කොතරම් ආශ්චර්යක්ද? ඉන්පසු ප්‍රිතියෙන් ඉපිල යන මේ පුද්ගලයා අර සරණපාල ට නොසෑහෙන්න ස්තූති ද පල කරනු ඇත. එවැනි මිතුරකු සිටිම පිලිබඳ ආඩම්බරද වනු ඇත.
තම මිතුරාට උදව්වක් කිරිම හොඳය. නමුත් මෙහිදි බිඳී ගියේ නිතියේ ආධිපත්‍ය නොවේද. අපි රෝහලකින් බලා පොරොත්තු වන්නේ අවශ්‍ය රෝගියාට ඇඳක් මිස රෝහලේ සෙවකයකුගේ මිතුරු රෝගියාට ඇඳක් නොවේ. එසේම පොලිමේ සිටින අනුපිලිවෙලට වෛද්‍ය හමුවකි. අවශ්‍ය රෝගියාට, නොමිලේ ලැබෙන බෙහෙතති. ‍”තෙවැනි ඇස” එසේ කියන විට ඔබ සැමද “තෙවැනි ඇස” සහ එකඟ වනවා ඇත. නැතිනම් ඔබ ආසාධාරණයට ලක් වන විට ඔබද එය විවේචනය කරනවා ඇත. නමුත් ඔබේ මිතුරා හෝ ඥාතියා ඔබට උදව් කරයි නම් ඔබද ඉහත තත්වයටම වැටෙනවා නේද?
අනෙක් අභාග්‍ය නම් විවිධ තනතුරු දරන නිලධාරීන්ද එසේ ම සිතිමය. “තෙවැනි ඇසට”ට දිනක් යම් අයෙක් මෙසේ කියනු ඇසිණි. “අපි පොලිසියේ ඉදලත් අපේ කෙනෙකුට පොලිසියෙන් උදව්වක් අරන් දෙන්න බැරිනම් වැඩක් නැහැනේ”. සියල්ලන්ම මෙසේ සිතන්නට ගියහොත් උදව් කිරීමට කිසිවෙකු නොමැති පුද්ගලයන්ට කුමක් වේවිද?
එසේනම් තෙවැනි ඇස මෙසේ කියමි. ඹබට තම මිතුරන්ට සේවය කිරිමට අවශ්‍යම නම් එසේ කරන්න, එය හොඳය. නමුත් ඒ වෙනත් අයෙකුට අයිති අවස්ථාවක් සොරකම් කර ඔබේ මිතුරාට දිමෙන් නම් නොවේ.නමුත් වඩා හොඳ වන්නේ එම සේවය අත්‍යාවශ්‍යම පුද්ගලයාට, ඔබේ මිතුරකු නොවුවත් පලමුව ලබා දිමට ක්‍රියා කිරීමය.

Image source digitalpoint.com 

11/16/2010

මම සතුන් නොමරමි....Stop not slaughtering but torture

Posted by with 2 comments


සතුන් ආහාරය සඳහා ඝාතනය කිරීමට සම්බන්ධ එක්තරා ප්‍රසිද්ධ කියමනක් ඇත. එනම් ඔබට සතෙක් ඝාතනය කිරීමට අවශ්‍ය නම් රත් වු ලෝහ තැටියකට නැග එම සතාව ඝාතනය කරන්න යනුවෙනි. 
නමුත් මෙයින් හැඟී යන කරුණ නම් මිනිසා සෑම දෙයක්ම තමා ප්‍රමුඛ කර ගනිමින් සිතිමට පෙලඹී ඇති බවයි. මක් නිසාද යත්, සතෙකු ඝාතනය කිරීමේ දී පවා සතාට දැනෙන වේදනාවට වඩා තමාට දැනෙන වේදනාව මුල් කර ගනිමින් එහි යථාර්ථය වසා දමා ඇත. එසේම කර්මය මුල් කර ගනිමින් මේ දෙස බලන පුද්ගලයා සතාට දැනෙන වේදනාවට වඩා ඉන් තමාට ලැබෙන කර්ම ඵලය ගැන වේදනා විඳියි. මින් ගම්‍ය වන්නේ යම් කිසිවෙකුට වේදනාව දරා ගනිමින් ලෝහ තැටියක් මත සිට ගත හැකිනම් හෝ කර්ම ඵලය තමාට බල නොපායි නම් සතෙකු ඝාතනය කිරිම අයහපතක් නොවන බව නොවේද?
මිනිසා මෙම පෘථිවිය මත දැනට සිටින බුද්ධිමත්ම සත්ත්වයා නම් ඔහු සිතිය යුත්තේ මෙලෙස නොවන බව තෙවැනි ඇස ගේ අදහසයි. බුද්ධිමත් සත්ත්වයෙක් ලෙස මිනිසා සිතිය යුත්තේ මිය යන තිරිසන් සත්ත්වයාගේ වේදනාවය. ඌ මරා දමන මිනිසා සිට ගෙන සිටින ලොහ තැටියේ උෂ්ණත්වය හෝ ඉන් මිනිසා විඳින වේදනාව හෝ පිලිබඳ ව අල්ප මාත්‍රයක වැදගත් කමක් මිය යන සත්ත්වයාට ඇත්තේ නොවේ. අනෙක් අතට මිනිසා කර ගන්නා මෙම පාප කර්මය පිලිබඳවද එම තිරිසනා ට වැදගත් නොවේ. එම අවස්ථාවේ තමා විඳින වේදනාව ගැන පමනක් ඌ සිතයි, ඉන් ගැලවීමට දඟලයි.
එසේ නම් මිනිසා සිතිය යුත්තේ මිය යන සත්ත්වයාගේ වේදනාව පිලිබඳව නේද?

මිනිසා සර්ව භක්‍ෂකය. එනම් මිනිසා ඉපදි ඇත්තේ කොල පමණක් කා ජීවත් වීමට නොවේ. මස්ද අනුභව කිරීමටය.  විද්‍යාත්මකවද බලන කල මස්  පෝෂ්‍යදායි ආහාරයකි. සමහර මිනිසුන්ද මසට පෙරේතය, සමරෙකුට මස් නැතිව කැමට ද  බැරිය.
අනෙක් අතට දිනකට අප රටේ පමනක් මරනු ලබන හරක් සංඛ්‍යාව සිතන්න. මිනිසා මස් කැම නවත් වන්නේ නම් මෙම හරකුන් නඩත්තු කරන්නේ කවුද? පාරවල් වල වාහනයකට යන්න පුලුවන් වේවිද? එවිට හරක් විනාශ කිරිමට රජයට අමාත්‍යාංශයක් ඇති කිරීමට සිදුවනු ඇත. ඔබ පිලි ගන්නේ නැති වුවද සත්‍යය එයයි. අද බලන්න මදුරුවන් විනාශ කිරිමට රජය කොතරමි වෙහෙසක් ගන්නවාද කියා.
එසේ නම් මිනිසා කල යුත්තේ වේදනා රහිත මරණයක්, අප ආහාරයට ගන්නා සතුනට ලබා දීම නොවේද? එමගින් මිනිසාට ආහාරයත් සතුනට සහනයත් ලැබෙනවා නොවේද? සතුන් මැරීමට පලමු ඔවුන්ට අපාය පෙන්වන්නේ අපි මිනිසුන් නොවේද. හරක් ප්‍රවාහනය කරන්නේ කොයි තරම් අමානුෂික ලෙසද, ඔවුන් මරා දමන්නේ කොයි තරම් කුරිරු ලෙසද.. ඇයි කකුලන් ? කුඩා ප්ලාස්ටික් කූඩු වල පුරවා, ආහාර සහ ජල බිඳක් රහිතව, කට්ට අවුවේ, පෙට්ටි උඩ පෙට්ටි ගසා ගබඩා කර තබා තිබෙනු ඔබ දැක නැතිද. ඌරන් මැරීමට පලමු තත්ත්වයද එසේමය. මෙම සතුන්ට කතා කල හැකි නම් කුමක් කියාවිද?
“මිනිසුනේ, උඹලා අපේ මසට මෙතරම් පෙරේත නම් අපිව කාපල්ලා, නමුත් ජිවත් වන ටික කාලයට අපිට සැනසිල්ලේ ඉන්න ඉඩ දියලල්ලා” කියා කියනු නො අනුමානය.
සතුන්ට වේදනා රහිත මරණයක් උරුම කර දි උන් කෑම වරදක් නැති බව කියන විට ඔබ මා හා එකග නොවීමට පුලුවන. ඒ සතුන්ටත් ජිවත් වීමට අයිතියක් ඇති බව පවසමිනි. මම මේ ගැන වරු ගණන් දින ගණන් කල්පනා කර ඇත. මිනීසා සහ සතුන් අතර  පැහැදිලි වෙනසකි.
එනම්, වේදනා රහිත වුවත් මිනිසා මරණයට අකමැතිය. ඒ ඔහුට හෙට දවසක් ඇති නිසාය. ඔහු ජිවත් වීමට කෑදරය. ඔහු හෙට ගැන සිතයි. හෙට දිනය ඔහු සැලසුම් කර හමාරය. ඔහු එය විඳින්නට බලාපොරොත්තුවෙන් සිටි. මිනිසා මරණයට අකමැති ඒ නිසාය.
නමුත් තිරිසන් සතුන් එසේ නොවේ. ඹවුනට හෙට දිනක් නැත. ඌ හෙට දින ජිවත් වීමට සිහින නොදකියි. එසේ නම් ලේනෙක් වෙත අප ලං වන විට දිව යන්නේ ඇයි. එයට හේතුව නම් “ සතුන් වේදනාවට බිය වීමයි”. සත්ත්වයා මරණය නොහඳුනයි. නමුත් වේදනාවට ඇති බිය ඌ මරණයෙන් ගලවයි.
එසේනම් සතුන් අපෙන් ඉල්ලන්නේ හෙට දිනක් නොවේ. වේදනා රහිත ජිවිතයක් පමණි. ඌ ඔබේ ආහාරයට ගන්න. නමුත් බුද්ධිමත් මිනිසුනි ඔබ සොයා ගත්දියුණු තාක්ෂණය උන්ගේ වෙදනාව සමනය කිරීමට යොදා ගන්න.