11/22/2010

අපරාධය හා දඩුවම Offence & Punishment

Posted by with No comments

මේ බෞද්ධ ර‍ටේ කොතරම් අපරාධ සිදු වෙනවද? ඒ අපරාධ වලට දඩුවම් කිරීමත් එහෙමමයි. මතක් කරල බලන්න කවුරු හෝ කෙනෙක් ඝාතනය වු විට ඹහුගේ සමීපමයන් කොයි තරම් දුක් වෙනවද, කුදුඵ සලනවද කියලා. ඔවුන් මොකක්ද රජයෙන් බලාපොරොත්තු වෙන්නේ, ඉල්ලා හිටින්නේ. “මේ අපරාධය කල අයට උපරිම දඩුවම් දෙන්න” කියලා නේද? රටේ හැම දෙනෙකුගෙම හදවත් සසල කල කුරිරු ඝාතන සිදු වූ විට, අපි සැවොම ඉල්ලා හිටියෙත් ඒකමයි. අපි ඇයි එහෙම ඉල්ලා සිටින්නේ කියල ඔබ කවදාවත් සිතල බැලුවද?
ඒ අපරාධකාරයාට උපරිම දඩුවම් දුන්නම ඔබේ ඝාතනයට ලක් වු සමීපමයට නැවත ජීවය ලැබෙනවද. නැහැ. එවැනි දඩුවමක් දුන්නම එක්තරා දුරකට අනේක් අපරාදකරුවන් මෙල්ල විමක් වෙනව තමයි. නමුත් අපි ඒ අවස්ථාවේ සිතන්නේ ඒ ගැනද. නැහැනේ , එහෙනම් අපේ සිතුවිල්ල “පලිගැනිම” කියල මම කිව්වොත්? එම නීත්‍යානුකූල පලිගැනීම තුලින් අපේම සිත අස්වසා ගැනිමයි අපට අවශ්‍ය වුනේ කියල මම කිව්වොත් , ඔබ මොකද කියන්නේ, පිලිගන්නව නේද?
අපරාධකරුවන් කෙරෙහි අපි අතර කොයි තරම් වෛරයක් තියෙනවද, අපරාධකරුවා දඩුවම් විඳීම දැකල, ඒ තරමටම සහනයක් අපි ලබනව. නමුත් කිසිදු පුද්ගලයකුට අපරාධකරුවෙක් වන්න සැබෑ උවමනාවක් තිබෙන්න හැකියාවක් නැහැනේ. ඔවුන්ව නිර්මාණය කරන්නේ අපේම සමාජයමයි. එම අපරාධකරුවන් ඒ තත්ත්වයට පත්වීමට හේතු සොයා ඊට පිලියම් යෙදීම තුලින් යහපත් පුදුගලයකු නැවත බිහි කල හැකියි. එසේ කල නොහැකි බවට පැහැදිලි අය පමණයි සිරකඳවුරු තුල තැබිය යුත්තේ.
උදාහරණයකට, කාන්තාවක් පවුල් ප්‍රශ්නයක් නිසා සිය කුඵදුල් දරුවා උපන් ගෙයිම මරා දමනවා කියලා හිතමු. අපි අර අම්මාව කොයි තරම් හංවඩු ගහනවද මේ ප්‍රවෘත්තිය දුටුවම. නමුත් ඒ අම්මටත් ඒ ගැන කියන්න කථාවක් ඇති. ඒ ගැන  අසන්න අපි සූදානම්ද. අනෙක් අතට ඒ දරුව මරන්න, ඒ අම්මා එදා සිටම බල බලා සිටියා කියල කාටවත් කියන්න පුලුවන්ද. එම අවස්ථාවේ මුහුණ දෙන ප්‍රශ්න, ගැටලු, අම්මා ගේ අධ්‍යාපන දැනුම, සංස්කෘතික බැඳීම්, විශේෂයෙන්ම ඇයගේ පෞර්ෂත්වය ආදි සියල්ලේම සංඝට්ටනයක් තුල, කල යුතු යැයි කියා  ඒ අම්මා සිතන දේ තමයි දරුවා මරා දැමීම. පසුව ඒ අම්මාත් ඒ ගැන පසු තැවෙනවා ඇති.  එම තත්ත්වයට ඔබ පත් වුවා නම් , සමහර විට ඔබ ඊට වඩා කලින් එම අපරාධය කරන්න පෙලඹෙන්නත් පුලුවනි ඔබේ පෞර්ෂත්වය දුරවල නම්. සිතන්න එපා ඔබ අද සිතන විදිහටමයි, ඒ අම්මාගේ තත්වයට පත් වූවාමත් සිතන්නේ කියලා. දැන් බලන්න , ලබන වසර තුල අනිවාර්යයෙන්ම කිසියම් සංඛ්‍යාවක් සිය දිවි හානි කර ගන්නවනේ. එය 100 යි සිතමු. ඒ සියලු දෙනා මේ වන විට මේ රටේ ජිවත් වෙනවනේ. නමුත් අද  සංගණනයක් කලොත් (සියල්ලෝ අවංක යැයි සිතුවොත්) 100 දෙනෙක් කියාවිද අපියි ඒ කියලා. නැහැ කොහෙත්ම නැහැ. සමහර විට එක් අයෙක් වත් නැති වේවි. ඒ ඇයි ඔවුන් දිවි හානි කරගන්නේ ඒ මොහොතේ ඔවුන් මුහුන දෙන කිසියම් ප්‍රශ්නයක් නිසා ඊට වඩා හොඳයි කියන “සිය දිවි හානි කර ගැනීම” තෝරාගැනී‍මෙන්.
“හතු” ගැන ඔබ දන්නවද. හතු කියන්නේ ගසක් නොවෙයි, දිලීරයක්. දිලිරයෙත් එක කොටසක් පමණයි. දිලිරයේ ප්‍රධාන කොටස පැතිරිල තියෙන්නේ පොලව යට , නැතිනම් දිරා ගිය කඳක් ඇතුලත. එය අපේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ ගැන කිසිම නිනව්වකුත් නැහැ. නමුත් හදිසියෙම උදෑසනක ඉහලට එන “හත්ත” හරි ප්‍රමුඛ ලෙස අපිට පෙනෙනව. අපි ඒ ගැන කථා කරනව. අපිට එපා නම් ඒක කඩල ඉවත් කරනව. නමුත් දිලීරයේ පුධාන කොටස තවම පොලොව යට. තව හතු ඕනෑම ‍ගණනක් දිනෙක උදෑසන මතු පිටට ඇවිත් තියෙන්න පුලුවන්.
මේ සමාජයේ අපරාධකරුවන් ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකමයි. අපි අපරාධයක් නෙත ගැටුනු විට කොයිතරම් ඒ ගැන කථා කරනවද. එල්ලුම් ගස නැවත ගෙනත් ඒ අපරාධකාරයව මෙලොවෙන් තුරන් කරන්නයි අපි වාද  කරන්නේ. එවැනි දඩුවමක් දිලා අපරාධකරුව මරල දැම්මොත්, අඩු ගනනේ , ජීවිත කාලයටම සිරගෙට යැවිවොත් , ඔබ කොතරම් සැනසුම් සුසුම් හෙලනවද? නමුත් මිනිසුනේ “ ඒ එක හත්තක් පමනයි “ කියා අමතක කරන්න එපා.
මේ රටේ අපරාධකරුවන් නිර්මාණය වීමට හේතු සොයා බලා ඊට පිලියම් කිරීම තුලින් පමණයි අපරාධ මැඩ පැවැත්විය හැක්කේ. මේ වන විටත් ස්ත්‍රියක දූෂණය කරන්නට, දරුවකු පැහැර ගන්නට, නිවෙසකට ඇතුඵ වී නිවැසියන් මරා හෝ දේපල සොරා ගැන්මට, තම සතුරා මරා දැමීමට, අවස්ථාවක් එලඹෙතොත් ඒ අනුව ක්‍රියාත්මක වීමට තරම් දූෂිත වු සිත් ඇති කී දාහක් අප අතර සිටිනවා ඇතිද? නමුත් අප “දිලිර” ගැන අවධානය යොමු නොකොට “හතු” ගැන පමණක් කරදර වේ නම්, මෙම සමාජයෙන් අපරාධ ඉවත් කිරීමට හැකි වෙතැයි සිතිය නොහැක.
එසේම ඔබ නම් කවදාත් ඒ තත්ත්වයට පත් නොවෙතැයි ඔබ සිතනවා ඇති නේද? නමුත් පවතින සමාජ ක්‍රමය තුල අපරාධකරුවන් නිශ්පාදනය වන්නේ අප තුලින්මය. එයයි සත්‍යය. වෙනස් වන්නේ විවිධ පුද්ගලයන් ඒ තත්ත්වයට පත් වන්නේ විවිධ මට්ටම් වලදීය යන්න පමණයි. උදාරණයකට, අපි විවිධ ද්‍රව්‍ය 10 ක් පමණ ගෙන රත් කලොත් විවිධ උෂ්ණත්ව මට්ටම් වලදි ඒවා උණු වෙනවා නේද. ඉටි නම් ඉක්මනටම උණු වේවි. නමුත් “අපි නම් දිය වන්නේ නැහැ” යැයි කයඩ වලට කිව හැකිද, නොහැක. කිසියම් උෂ්ණත්වයකදී යකඩ ද උණු වි යනු ඇත. එසේම අද අතේ සල්ලි නැතැයි කියා පාන් ගෙඩියක් සොරා ගන්නා පුදුගලයකු දැක, “මම නම් කවදාවත් එසේ නොකරමි” යැයි කිමට ඔබට අයිතියක් ඇත්ද? නැත මක් නිසාද යත් අගහිගකම් වලින් මිරිකී, දරිද්‍රතාවයෙන් ඹබ දැඩි ලෙස පිඩා විඳින යම් විටෙක, එම පාන් ගෙඩිය සොරා ගැනීමට ඔබටත් සිතෙන්නට යම් ඉඩකඩ ඇති බැවිනි.

හැගීම් - දැනීම්

0 ප්‍රතිචාර:

Post a Comment