8/22/2014

නූතන සමාජය තුල කර්ම සංකල්පයේ පැවැත්ම Existence of Karma in modern society

Posted by with 2 comments


කර්මය යනු නුතන ලෝකයේ ප්‍රතික්ශේප වෙමින් පවතින සංසිද්ධියකි. කර්මය දකුණු ආසියානු සමාජයේ සදහන් ලෙස මිනිසුන් පාලනය කරන, වැරදි කරුවන්ට දඩුවම් කරන යාන්ත්‍රණයක් ලෙස සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වේනම්, අද දින අප දකින බොහොමයක් වංචා දූෂණ මෙම සමාජයේ පවතින්නනේ නැත.

තවද කර්ම යාන්ත්‍රණය සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වේ නම් , එහි වලංගු භාවය ප්‍රශ්න කරනු ලබන ක්‍රියාවලියක් එය තුලම ගැබ්ව පවතියි. උදාහරණයක් ලෙස බුදු දහමේ මුගලන් මහ රහතන් වහන්සේට සොරු කණ්ඩායමක් පහර දීමේ සිද්ධිය පෙන්වා දිය හැක. එම අවස්ථාවේ උන් වහන්සේ පහර කෑමට ලක් වන බව කල් ඇතුව දකින ලදැයි පැවසෙන අතර එහිදි උන් වහන්සේට එය මග හැර යා හැකිව තිබිණි. නමුත් උන් වහන්සේ එසේ නොකරණ ලද්දේ නිවන් යාමට පෙර එම අකුසලයටද දඩුවම් ලැබීමේ අරමුණින් බව පැවසේ. එම අරමුණ තුලම කර්මයට ඇති ස්වාධීනව ක්‍රියාත්මක වීමේ ඇති හැකියාව ශූණ්‍ය කර තිබෙනවා නොවේද?

 “හැකිනම් මගේ නහය අල්ලා පෙන්වාපන් “ යයි යමෙක් ඔබට අභියෝග කල විට ඔබ කෙසේ හෝ ඔහුගේ නහය ඇලලුවේ නම්, ඉන් අනතුරුව “මට උවමනානම් මට ඔබ පරාජය කිරීමට තිබුනා නමුත් මම නුබට මගේ නහය අල්ලන්නට සිතාමතා ඉඩ දුනුමි“ යි අනෙකා පැවසී නම් ඔබේ ජයග්‍රහණයට ඇති වටිනාකම කුමක්ද?

මෙයද එවැනි ම කාරණයකි. උන් වහන්සේ කර්මය නැමති සංසිද්ධියේ වලංගු භාවයට කරුණා උපදවා පහරකෑමට ලක් වූ බව නොවෙද ඉන් අදහස් වන්නේ.

මෙම සංසිද්ධිය තුලම ගැබ්ව තිබෙන අනෙක් වැදගත් කරුණ නම් “කර්මය“ වලංගු බව සහතික කරනු පිණිස රහතන් වහන්සේට පහර දීමට සොරමුල යොදා ගැනීමයි. මෙහි ද වැදගත් කරුණු කිපයකි.

1.     කර්මය නැමති හුදෙක් සංසිද්ධිය ක්‍රියාවට නැංවීම සදහා මුගලන් මහ රහතන් වහන්සේ සහ සොර මුල අභිබවා ඉන් පරිභාහිරව මෙහෙයවන්නෙක් සිටින බව. එවැන්නක් දහමේ සදහන් නොවේ.  මුගලන් වහන්සේගේ අවසාන කර්මය  එම භවය තුලම ක්‍රියාත්මක කර අවසන් කරණු පීනීස කොහේවත් යන සොර මුලක් යොදා ගත්තේ කවුද, නැතිනම් කුමන බල වේගයද යන්නට පිළිතුර අපහැදිලිය.

2.     තවද කොහේවත් යන කර්මයක වලංගු භාවය ආරක්ෂා කිරීම පිණිස සොර මුල යොදා ගත්තේ නම්, ඉන් අනතුරුව සොරමුල ඉන් සිදුකර ගත්තේ කුමන ආකාරයක කර්ම ඵලයක්ද යන්නද පැහැදිලි නැත. සොරමුල ඉන් පාප කර්මක් කරගත්තේ නම්  පැහැදිලිවම එය සාධාරණ නොවේ. එසේම ඔවුන්ගේ කර්මය පල දීම සදහා යම් දිනෙක තවත් යමෙක් බිල්ලට දීමට සිදු වෙනවා නේද යන ගැටලුව පැන නගී.

3.     අනෙක් අතට සලකා බලන කල ඉන් සොර මුලට අනර්ථයක් සිදු නොවේ යැයි කිසිවෙක් පවසයි නම් සහ එයට හේතුව ලෙස සොරමුල ඉටුකරණ ලද්දේ කර්ම‍යේ වලංගු භාවය පවත්වා ගැනීමට රුකුල් දීමක් ලෙස පෙන්වා දෙන්නේ නම්, අද දින සිදුවන මිනිමැරුම් වැනි චෝදනාවක්ද එසේම සාධාරණීය කල හැකි වනු ඇත.

මෙසෙ බලන විට අද දින කර්මය යනු නූතන සමාජය තුල ප්‍රතික්ශේප වෙමින් පවතින අවලංගු කාසියකි. ඇත්ත වශයෙන්ම පවසතොත් එම කාසිය අතීතයේ වලංගු යැයි සිතා සිටියා මිස එය කිසිදිනෙක වලංගුව නොපැවතිණි.

කෙසේ වුවද කර්මය සමාජය තුල කිසියම් යහපත් මෙහෙවරක්ද ඉටු කරණු ලබයි. කර්මය සත්‍ය යයි අදහන සමාජය හික්මවීමට සහ පාප කර්ම වලින් වැලකීමට, කර්මය ඉඩ සලස්වයි. නමුත් වඩා වැදගත් කර්මයට බියෙන් අයහපත් ක්‍රියාවන්ගෙන් වැලකීම නොව එහි යථාර්තය අවබෝධයෙන් ඉන් වැලකීමයි.

කර්මය තවත් සමාජ මෙහෙවරක් ඉටු කරයි. ඔබ වරදක් නොකරම කිසියම් කරදරයකට මුහුණ දුන්නා යයි සිතන්න. එවිට ඔබ මනසින් වැටෙයි. ඇයි මම වරදක් නොකර මට මෙහෙම උනේ යන ප්‍රශ්ණය ඔබ තුල පැන නගී. (එය සමාජ යථාර්තය බවත් යහපත් ක්‍රියාවක අවසාන ප්‍රථිඵලය හැම විම යහපත්ම නොවන බවත් ඔබ අවබෝධ කරගෙන නැතිවා වෙන්නට පුලුවන) එම විශ්වාෂභංගත්වය ඔබ ඉදිරියටත් යහපත් පුද්ගලයෙක් ලෙසම සිටිමේ තේරුමක් නැත යන සිතුවිල්ලට මගපාදා දිය හැක. එය අනරෟථයකි. කර්මය පිලිබද විශ්වාසය එම අවස්ථාවේ ඔබට පිහිට වෙයි. මට එසේ උනේ මම කල පුර්ව පාපකර්මක් හේතුවෙන් බව සිතීමෙන් පසු එය ඔබ සිතට සහනයක් ගෙනෙයි. එය තවදුරටත් එය ඔබ යහපත් මගම ගමන් කරවයි.

මෙය කියවන ධාර්මික ඔබේ දිව නලියයි. මක් නිසාද යත්  ධර්මයේ සදහන් “අහෝසි කර්ම“ පිලිබද මම නොදැන සිටින බැවිනි.

අපි දැන් ඒ පිලිබද කතා කරමු. බුද්ධ ධර්මයේ එවැන්නක් සදහන් වෙයි. භෞතික හේතුන්ගේ බලපෑම මත කර්ම ඵල වල බලපෑම මුලුමනින් අහෝසි වී යා හැක, නැතිනම් බාල විය හැක. නමුත් මට නම් ගැටලුවක් ඇත.

පාරේ සුදු ඉරි දෙකක් ඇතිනම් රියදුරකු ගේ වගකීම කුමකුදැයි ඔබෙන් ඇසුවොත් ක්ෂණික පිලිතුර වන්නේ, කිසිම ලෙසකින් සුදු ඉරි කපා වාහනය ධාවනය නොකිරීමයි පැවසීම නොවේද?  එය ඉතා වැදගත් බැවින් ඹබේ පිලිතුර නිවැරදිය. නමුත් එහි අඩු වැදගත් කමකින් යුතු තවත් කරුණක් වෙයි. එනම් රියදුරුට සුදු ඉරි දෙක කපමින් අනෙක් පසට ධාවනය කිරීමට අවස්ථාවක්ද ඇත යන්නයි. ඒ හදිසි අනතුරක් වලක්වා ගැනීමටය.

එසේනම් දකුණු ආසියානු ධර්මය තුල කර්මයට ඉහලම වැදගත් කමක් දෙමින්, ඒ පිලිබද අනන්තවත් කතා කර එහි විවිධ පැතිකඩයන් විශ්ලේෂණය කර අවසානයේ අහෝසි කර්ම පිලිබද ස්වල්ප වශයෙන් සදහන් කර ඇත්තේ ඇයි. ඉන් පෙනි යන්නේ කර්මය පල දීම ඉදිරියේ අහෝසි කර්ම යනු ඉතා කලාතුරකින් සිදු වන විශේෂ අවස්ථාවක් ලෙස දහම තුල පිලිගත් බව නොවේද.

නමුත් අද ඇත්තේ සියයට අනුනවයක්ම අහෝසි කර්මය. ලෙඩ වී , හදිසි අනතුරු වලට ලක්ව, රෝහල් ගත වන සහ අනතුරුව සුවය ලබා පිටත්ව යන සියල්ල අහෝසි කර්මය. මිය ගොස් මිනී කාමරයට ගෙනි යන සුළුතරය පමණි සක්‍රිය කර්ම.

ධර්මයේ අතිත දේශනා කිරීම් තුල අහෝසි කර්ම පිලිබද අසන්නටවත් නැත. රහත් භාවයට පත්වූවායැයි පැවසෙන මුගලන් තෙරුණටද අහෝසි කර්ම  වලංගු නැත. කෙසේ නමුත් අද වන විට නුතන සමාජය හා අනුගත විය යුතු බැවින් ධර්මයේ පලමු තැන “අහෝසි කර්මය“ට හිමිවී “කර්මය“ දෙවන තැනට පත්ව ඇති බව පෙනේ.
 Image source: lakehouse.lk

7/06/2014

බුද්ධ ධර්මය නුතන විද්‍යාව ඉදිරියේ හෑල්ලු කිරීම Make Buddhism second to Modern Science

Posted by with No comments
බුද්ධ ධර්මය යනු නුතන විද්‍යාවටද අභියෝග කරන ධර්මයකි. විශ්වයේ උපත,  ජීවයේ  ප්‍රථම සම්භවය, ජෛව පරිණාමය, ක්වොන්ටම්වාදය, මහා පිපිරුම වැනි අද දවසේ විද්‍යාඥයන් විසින් විවිධ පර්යේෂණ ඔස්සේ දුෂ්කර ලෙස සොයා ගන්නා සියලුම නිවීන සොයා ගැනීම් බුද්ධ දර්මයේ අඩංගු වන්නේය. එසේ නැතිනම් ඒ බව බුදුන් වහන්සේ දේශනා කල බව බෞද්ධ දාර්ශනිකයෝ පෙන්වා දෙති.   අනතුරුව නව සොයා ගැනීම කල විද්‍යාඥයන් දෙස , උපහාසාත්මක බැල්මක් හෙලති. ඒ මේ බව  බුදු රජුන් පවසා ඇත්තේ වසර 2500 පෙර බැවිනි. හෙට දින සිදුවිය හැකි නව සොයා ගැනිමක් වේද එයත් බුදු බනේ කොතැනක හෝ තිබෙන්නේය. නමුත් ගැටළුව නම් විද්‍යාෙවන් එය සොයා ගන්නා තෙක් කතා නොකිරීමයි.

උදාහරණයකට මිනිසාගේ සිත පවතින්නේ මොලය පාදක කරගනිමින් නොව හෘදය පාදක කරගනිමින් බව හෙට දින විද්‍යාෙවන් බැරි වෙලාවත් ඔප්පු කරනු ලැබුව හොත් මේ ලෝකයේ වඩාත්ම ජය ගෝෂ පවත්වන්නේ  බෞද්ධයන් විසින් බැවිනි. එය එසේ වන්නේ ඇයි?   මිනිසාගේ මනස පිහිටා ඇත්තේ හෘදය තුල ඇති රුධිරයේ බව අභිධර්මය පිටකයේ සදහන්ව තිබීම එයට හේතුවයි.

නමුත් මේ බව අද දින සාකච්ඡාවට බදුන් වෙන අවස්ථාවක් අසන්නටවත් නැත. උසස් අධ්‍යාපන ආයතන තුල පමණක් කතා කරනවා වන්නට පුළුවන. එහිදීද එය සාකච්ඡා කරනුයේ මෙසේය.

1. අභිධර්මයේ මෙසේ සදහන් වුවද අභිදර්මය යනු බුදුන් විසින් දේශනා කල පීටකයක් නොවේ.බුදුන් ගෙන් වසර 200 ට පමන පසු බුදු දහමට එකතු වුවකි අභිධර්මය. එසේ නම් බුද්ධ ධර්මයේ වඩාත්ම වැදගත් පිටකය නිර්මාණය වුයේ එතුමන්ගේ පරිනිර්වාණයෙන් පසුද?

2. මනස හෘදය ආශ්‍රිතව පවති යන්න බුදුන් දවස පැවති මතයකි. එය බුදුන් වහන්සේ පිලිගැනීමක් හෝ පිලිකෙව් කිරිමක් නොකරන ලදී. බුදුන් දවස පැවති මිත්‍යා මත එක හෙලා පිලිකෙව් කල බුදුන් වහන්සේ, මනස පිලිබද විවිධ පැතිකඩයන්ගෙන් විශ්ලේෂණයේ යෙදුනු බුදුන් වහන්සේ මෙහිදි මුනිවත රැකකේ ඇයි.?

මෙසේ බුදුන් වහන්සේ  මෙම කාරනයෙන් ගලවා ගැනීමට උත්සහ දරන්නේ ඇයි. එයට හේතුව වර්ථමානයේ විද්‍යාත්මක මතයට එරෙහි ධර්මයක පැවැත්මක් නොමැති බව සියල්ලෝම දන්නා බැවිනි.

නවීන විද්‍යාෙවෙන් කෙසේ ප්‍රකාෂ වුවද බුද්ධ ධර්මයට අනුව මනස යනු  හෘදය ආශ්‍රිතව පවතින්නක් බව නොබියව ප්‍රකාෂ කල නොහැක්කේ ඇයි, ඒ අකාරයෙනි බුද්ධ ධර්මයේ ස්වාධිනත්වය ආරක්ෂා කල හැක්කේ. නවින විද්‍යාෙවන් ප්‍රතික්ශේප වී ඇතත් කිතු දහම තවදුරටත් ලෝකය දේව මැවීමක් යන ස්ථාවරයේ සිටී.
*********************************************************** ‍



6/06/2014

What Is Superior, Mind or Body According to Buddhism. වඩා බලවත් සිත (චෛතසිකය) ද සිරුර (භෞතිකය) ද ?

Posted by with No comments

  


බුද්ධ ධර්මයට අනුව මනස සිරුරට වඩා බලවත් බව පැවසේ.කෙසේ වුවද මම මෙම ලිපිය ලියන්නේ සිරුර මනසට වඩා බලවත් බව මට හැගෙන බැවින් සහ මනස බලවත් නොවන බව පැහැදිලි කරනු පිණිසය.

බුද්ධ ධර්මයයේ මුලික හරය වනුයේ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගනිමින් රහත් බවට පත්වීමයි. මිනිසා නැවත නැවත ඉපදෙන්නේ ලෝභය මෝහය ආදිය නිසා බැවින් එය මැඩ පැවැත්විම තුලින් සිත තවත් තැනක ඉපදීම අවසන් කල හැක. එනම් සංසාර ගමන අවසන් වී නිවන් සුව අත් විදි.
සිත තුල සිතුවිලි එකින් එක බැදී නව සිතුවිලි ඇති වීම ලෝභය මෝහය ආදි බැදීම් මත සිදුවන්නේ නම් රහත් බවට පත්වී ආසාවන් කෙලවර කරන උතුමකු එම මොහොතේ සිට ආසාවන් අහවර කල යුතුය. ඒ සදහා එම භවයේ අවසාන දක්වා සිටිය යුතු නොවේ.

එසේ නම් රහත් භාවයට පත් වු මොහොතේ සිට එම භවයේ අවසානය දක්වා ජීවත් වන්නේ ඇයි?
එම කාලය තුල විපර්යාසයකට බදුන් වනනේ සිරුර මිස රහත් භාවය නොවේ. එසේනම් මෙම විශේෂ අවධිය තුල සිතුවිල්ලක් අවසානයේ තවත් සිතුවිල්ලක් රහත් උතුමන් තුල ඉපදීමටත් , භෞතික සිරුර මිය ගිය දිනෙක එම මොහොතේ සිට නව සිතුවිල්ලක් නො ඉපදීමටත් හේතුව කුමක්ද?

එපමනක් නොවේ මේ අතරතුර කාලය තුල රහත් වුවද එම සිරුරට කුසගින්න දැනේ, පිපාසය දැනේ, වැසිකිලි කැසිකිලි අවශ්‍යතාවය දැනේ. සිරුර පිරිසිදු කිරීමද කල යුතුය, ස්නානය කල යුතුය මුව පිරිසිදු කල යුතුය. මේ කිසිවක් මනසට අවශ්‍ය දේ නොවේ. භෞතික සිරුර විසින් ඇති කරනු ලබන අවශ්‍යතාවයන්ය. එකී භෞතික සිරුර විසින් ඉල්ලා සිටින අවශ්‍යතා රහත් භාවයට පත් වු මනස විසින් ඉටු කරයි නම්, එය භෞතික සිරුර විසින් මනස ඉක්මවා යාමක් නොවේද?

මෙම භෞතික සිරුර විසින් මනස ඉක්මවා යාම අකේ අතටද විස්තර කල හැකිය. කිසියම් පුද්ගලයකු හදිසියේ මිය යාම සිතන්න. එවිට මනස බලවත් වුයේ නම්  “මම (මනස) මෙම සිරුර සමග තව වසර ගනනක් එක්ව සිටීමට සුදානම්ව සිටියෙමි“යි පවසා එම සිරුර හා බැදී පවතියිද? නැත. හදිසි මරණයක් සිදුවන ඕනැම අවස්ථාවක සිරුර හැර යාමට මනස සුදානම්ව සිටී. එය නිවසක් බද්දට හිමි තැනැත්තෙක් වෙනුවට ඹ්නැම අවස්ථාවක කාමරය හැර යාමට සුදානම් බෝඩිම් කරුවකුට සමාන කල හැක. බෝඩිම්කරුට කාමරයට අයිතිවාසිකම් නැත බලපෑමක් කලද නොහැක.

තවද මනස භෞතික සිරුර මත සිය මනසම උගසට තබයි. ඒ සංවේදනය ලබා ගැනීමට එයට අන් මගක් නොමැති නිසාය. ස්වයං සංවේදන හැකියාවක් මනසට තිබේ යැයි යමෙක් තර්ක කරයි නම්, මනස භෞතික සිරුර මත රදා පවතින්නේ ඇයි. එය හැර දමා තම ස්වාධිනත්වය රැක ගනිමින් තනිව පැවතිය හැක. මනසට එය කල නොහැක්කේ මනස යනු භෞතික සිරුරේ අතුරු ඵලයක් බැවිනි. මනස යනු සිරුරේ රසායනික ක්‍රියා කාරිත්වයක් මිස අන් කිසිවක් නොවේ.
 ඒ අනුව පෙනි යන්නේ භෞතික සිරුර,  මනස අභිබවා ක්‍රියාත්මක වෙන බව නොවේද?

 Image source:fitnessconnectionnc.com


මනස පිහිටා ඇත්තේ හෘදය තුලද? Where is your mind in terms of the Buddhism?

Posted by with 2 comments

බුදුන් දවස පොදු පිලිගැනීම වී තිබි ඇත්තේ මිනිසාගේ මනස පිහිටා ඇත්තේ හදවත තුල බව පෙනේ. ඊට හේතුව ලෙස හදවතේ ස්වයං ක්‍රියා කාරීත්වය දුටු එදා මිනිසා එයට සිරුරේ අනෙක් අවයවයන්ට වඩා වැඩි ආකර්ෂණයක් දැක්වීම විය හැක.නුමුත් වඩා වැදගත් කාරණය වන්නේ මනස පිලිබද පරතෙරට විශ්ලේශනයක යෙදුනු බුදුරජාණන් වහන්සේ මෙම වරද නිවරැදි නොකිරීමයි. එයට හේතු වන්නට ඇත්තේ කුමක්ද?

මම සිතන ආකාරයට බුදු රජාණන් වහන්සේ සිය මනස දියුණු කිරීම තුලින් සිත පිලිබද කරුණු අවබෝධ කර ගන්නට ඇත. නමුත් බැහැර කල නොහැකි යථාර්ථය නම් මනස දියුණු කරීම තුලින් පමනක් ම භෞතික ලෝකය අවබෝධ කර ගැනීමට, විශ්ලේශණය කරීමට නොහැකි බවයි. අප බෞද්ධයන්ට වැරදුනු තැනද එයමය. එබැවිනි බුදු රජාණන් වහන්සේ ලෝකයේ සම්භවය, ජීවයේ උපත, ක්වොන්ටම්වාදය ආදියද දැන සිටියායැයි ලතෝනි දෙන්නේ. මෙය එක් ආකාරයකට උන් වහනසේට කරණ අවමානයකි. උන් වහන්සේගේ මනස පිලිබද පැවැති තික්ෂණ බුද්ධියට ලෝකයෙන් ලැබිය යුතු ගෞරවයද නිහීන කිරීමකි. එය මා හට   මෙවැනි උදාහරණයකට සමකල හැකිය. “දක්ෂ වෛද්‍යවරයෙක් සභාවකට ගෙන්වා තෙකලා විදුලිය පිලිබද විද්‍යාත්මක විශ්ලේෂණයක් කිරීමට බල කිරීම.“

මෙහිදී තව කාරණයක් සදහන් කිරීම වටී. එනම් අද දින තුල මෙම වරද නිවැරදි කිරීමට බෞද්ධ සමාජය තුල වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වේ

1. මෙම අභිධර්ම ප්‍රකාශය කිසිදු තැනක කථා නොකිරීමට වග බලා ගැනීම. සිතා මතා අමතක කිරීම. එවැන්නක් බුද්ධ ධර්මය තුල නොමැති ලෙස සිටීම.

2. මෙම කාරණය බුදුන් විසින්ද නිරීක්ෂණය කල මුත් එයනොසලකා හැර ඇති බව ප්‍රකාෂ කිරීම (එවකට පැවති සමාජයේ සිත රිදේවි යැයි කියා සිතා ගමු) අභිධර්මය බුදුන් ගේ ම ප්‍රකාශණයක් නොවන බවටද එය පසුව බුද්ධ ධර්මයට එක් වුවක් බවටද  උසස් බෞද්ධ අධ්‍යාපනයේදී සදහන් වෙයි.

කෙසේ වුවද බැරි වෙලාවත් යම් දිනෙක නූතන විද්‍යාෙව් නව සොයා ගැනීමක් ලෙස මනස හා හෘදය අතර සම්බන්ධතාවයක් පෙන්වා දෙනු ලැබුවහොත් එදිනට  අපේ බෞද්ධ ක්‍රිකාකාරීන් මෙම අභිධර්ම වගන්තිය පෙරට ගෙන  මර ලතෝනි තබනු ඇත.