8/22/2014

නූතන සමාජය තුල කර්ම සංකල්පයේ පැවැත්ම Existence of Karma in modern society

Posted by with No comments


කර්මය යනු නුතන ලෝකයේ ප්‍රතික්ශේප වෙමින් පවතින සංසිද්ධියකි. කර්මය දකුණු ආසියානු සමාජයේ සදහන් ලෙස මිනිසුන් පාලනය කරන, වැරදි කරුවන්ට දඩුවම් කරන යාන්ත්‍රණයක් ලෙස සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වේනම්, අද දින අප දකින බොහොමයක් වංචා දූෂණ මෙම සමාජයේ පවතින්නනේ නැත.

තවද කර්ම යාන්ත්‍රණය සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වේ නම් , එහි වලංගු භාවය ප්‍රශ්න කරනු ලබන ක්‍රියාවලියක් එය තුලම ගැබ්ව පවතියි. උදාහරණයක් ලෙස බුදු දහමේ මුගලන් මහ රහතන් වහන්සේට සොරු කණ්ඩායමක් පහර දීමේ සිද්ධිය පෙන්වා දිය හැක. එම අවස්ථාවේ උන් වහන්සේ පහර කෑමට ලක් වන බව කල් ඇතුව දකින ලදැයි පැවසෙන අතර එහිදි උන් වහන්සේට එය මග හැර යා හැකිව තිබිණි. නමුත් උන් වහන්සේ එසේ නොකරණ ලද්දේ නිවන් යාමට පෙර එම අකුසලයටද දඩුවම් ලැබීමේ අරමුණින් බව පැවසේ. එම අරමුණ තුලම කර්මයට ඇති ස්වාධීනව ක්‍රියාත්මක වීමේ ඇති හැකියාව ශූණ්‍ය කර තිබෙනවා නොවේද?

 “හැකිනම් මගේ නහය අල්ලා පෙන්වාපන් “ යයි යමෙක් ඔබට අභියෝග කල විට ඔබ කෙසේ හෝ ඔහුගේ නහය ඇලලුවේ නම්, ඉන් අනතුරුව “මට උවමනානම් මට ඔබ පරාජය කිරීමට තිබුනා නමුත් මම නුබට මගේ නහය අල්ලන්නට සිතාමතා ඉඩ දුනුමි“ යි අනෙකා පැවසී නම් ඔබේ ජයග්‍රහණයට ඇති වටිනාකම කුමක්ද?

මෙයද එවැනි ම කාරණයකි. උන් වහන්සේ කර්මය නැමති සංසිද්ධියේ වලංගු භාවයට කරුණා උපදවා පහරකෑමට ලක් වූ බව නොවෙද ඉන් අදහස් වන්නේ.

මෙම සංසිද්ධිය තුලම ගැබ්ව තිබෙන අනෙක් වැදගත් කරුණ නම් “කර්මය“ වලංගු බව සහතික කරනු පිණිස රහතන් වහන්සේට පහර දීමට සොරමුල යොදා ගැනීමයි. මෙහි ද වැදගත් කරුණු කිපයකි.

1.     කර්මය නැමති හුදෙක් සංසිද්ධිය ක්‍රියාවට නැංවීම සදහා මුගලන් මහ රහතන් වහන්සේ සහ සොර මුල අභිබවා ඉන් පරිභාහිරව මෙහෙයවන්නෙක් සිටින බව. එවැන්නක් දහමේ සදහන් නොවේ.  මුගලන් වහන්සේගේ අවසාන කර්මය  එම භවය තුලම ක්‍රියාත්මක කර අවසන් කරණු පීනීස කොහේවත් යන සොර මුලක් යොදා ගත්තේ කවුද, නැතිනම් කුමන බල වේගයද යන්නට පිළිතුර අපහැදිලිය.

2.     තවද කොහේවත් යන කර්මයක වලංගු භාවය ආරක්ෂා කිරීම පිණිස සොර මුල යොදා ගත්තේ නම්, ඉන් අනතුරුව සොරමුල ඉන් සිදුකර ගත්තේ කුමන ආකාරයක කර්ම ඵලයක්ද යන්නද පැහැදිලි නැත. සොරමුල ඉන් පාප කර්මක් කරගත්තේ නම්  පැහැදිලිවම එය සාධාරණ නොවේ. එසේම ඔවුන්ගේ කර්මය පල දීම සදහා යම් දිනෙක තවත් යමෙක් බිල්ලට දීමට සිදු වෙනවා නේද යන ගැටලුව පැන නගී.

3.     අනෙක් අතට සලකා බලන කල ඉන් සොර මුලට අනර්ථයක් සිදු නොවේ යැයි කිසිවෙක් පවසයි නම් සහ එයට හේතුව ලෙස සොරමුල ඉටුකරණ ලද්දේ කර්ම‍යේ වලංගු භාවය පවත්වා ගැනීමට රුකුල් දීමක් ලෙස පෙන්වා දෙන්නේ නම්, අද දින සිදුවන මිනිමැරුම් වැනි චෝදනාවක්ද එසේම සාධාරණීය කල හැකි වනු ඇත.

මෙසෙ බලන විට අද දින කර්මය යනු නූතන සමාජය තුල ප්‍රතික්ශේප වෙමින් පවතින අවලංගු කාසියකි. ඇත්ත වශයෙන්ම පවසතොත් එම කාසිය අතීතයේ වලංගු යැයි සිතා සිටියා මිස එය කිසිදිනෙක වලංගුව නොපැවතිණි.

කෙසේ වුවද කර්මය සමාජය තුල කිසියම් යහපත් මෙහෙවරක්ද ඉටු කරණු ලබයි. කර්මය සත්‍ය යයි අදහන සමාජය හික්මවීමට සහ පාප කර්ම වලින් වැලකීමට, කර්මය ඉඩ සලස්වයි. නමුත් වඩා වැදගත් කර්මයට බියෙන් අයහපත් ක්‍රියාවන්ගෙන් වැලකීම නොව එහි යථාර්තය අවබෝධයෙන් ඉන් වැලකීමයි.

කර්මය තවත් සමාජ මෙහෙවරක් ඉටු කරයි. ඔබ වරදක් නොකරම කිසියම් කරදරයකට මුහුණ දුන්නා යයි සිතන්න. එවිට ඔබ මනසින් වැටෙයි. ඇයි මම වරදක් නොකර මට මෙහෙම උනේ යන ප්‍රශ්ණය ඔබ තුල පැන නගී. (එය සමාජ යථාර්තය බවත් යහපත් ක්‍රියාවක අවසාන ප්‍රථිඵලය හැම විම යහපත්ම නොවන බවත් ඔබ අවබෝධ කරගෙන නැතිවා වෙන්නට පුලුවන) එම විශ්වාෂභංගත්වය ඔබ ඉදිරියටත් යහපත් පුද්ගලයෙක් ලෙසම සිටිමේ තේරුමක් නැත යන සිතුවිල්ලට මගපාදා දිය හැක. එය අනරෟථයකි. කර්මය පිලිබද විශ්වාසය එම අවස්ථාවේ ඔබට පිහිට වෙයි. මට එසේ උනේ මම කල පුර්ව පාපකර්මක් හේතුවෙන් බව සිතීමෙන් පසු එය ඔබ සිතට සහනයක් ගෙනෙයි. එය තවදුරටත් එය ඔබ යහපත් මගම ගමන් කරවයි.

මෙය කියවන ධාර්මික ඔබේ දිව නලියයි. මක් නිසාද යත්  ධර්මයේ සදහන් “අහෝසි කර්ම“ පිලිබද මම නොදැන සිටින බැවිනි.

අපි දැන් ඒ පිලිබද කතා කරමු. බුද්ධ ධර්මයේ එවැන්නක් සදහන් වෙයි. භෞතික හේතුන්ගේ බලපෑම මත කර්ම ඵල වල බලපෑම මුලුමනින් අහෝසි වී යා හැක, නැතිනම් බාල විය හැක. නමුත් මට නම් ගැටලුවක් ඇත.

පාරේ සුදු ඉරි දෙකක් ඇතිනම් රියදුරකු ගේ වගකීම කුමකුදැයි ඔබෙන් ඇසුවොත් ක්ෂණික පිලිතුර වන්නේ, කිසිම ලෙසකින් සුදු ඉරි කපා වාහනය ධාවනය නොකිරීමයි පැවසීම නොවේද?  එය ඉතා වැදගත් බැවින් ඹබේ පිලිතුර නිවැරදිය. නමුත් එහි අඩු වැදගත් කමකින් යුතු තවත් කරුණක් වෙයි. එනම් රියදුරුට සුදු ඉරි දෙක කපමින් අනෙක් පසට ධාවනය කිරීමට අවස්ථාවක්ද ඇත යන්නයි. ඒ හදිසි අනතුරක් වලක්වා ගැනීමටය.

එසේනම් දකුණු ආසියානු ධර්මය තුල කර්මයට ඉහලම වැදගත් කමක් දෙමින්, ඒ පිලිබද අනන්තවත් කතා කර එහි විවිධ පැතිකඩයන් විශ්ලේෂණය කර අවසානයේ අහෝසි කර්ම පිලිබද ස්වල්ප වශයෙන් සදහන් කර ඇත්තේ ඇයි. ඉන් පෙනි යන්නේ කර්මය පල දීම ඉදිරියේ අහෝසි කර්ම යනු ඉතා කලාතුරකින් සිදු වන විශේෂ අවස්ථාවක් ලෙස දහම තුල පිලිගත් බව නොවේද.

නමුත් අද ඇත්තේ සියයට අනුනවයක්ම අහෝසි කර්මය. ලෙඩ වී , හදිසි අනතුරු වලට ලක්ව, රෝහල් ගත වන සහ අනතුරුව සුවය ලබා පිටත්ව යන සියල්ල අහෝසි කර්මය. මිය ගොස් මිනී කාමරයට ගෙනි යන සුළුතරය පමණි සක්‍රිය කර්ම.

ධර්මයේ අතිත දේශනා කිරීම් තුල අහෝසි කර්ම පිලිබද අසන්නටවත් නැත. රහත් භාවයට පත්වූවායැයි පැවසෙන මුගලන් තෙරුණටද අහෝසි කර්ම  වලංගු නැත. කෙසේ නමුත් අද වන විට නුතන සමාජය හා අනුගත විය යුතු බැවින් ධර්මයේ පලමු තැන “අහෝසි කර්මය“ට හිමිවී “කර්මය“ දෙවන තැනට පත්ව ඇති බව පෙනේ.
 Image source: lakehouse.lk
හැගීම් - දැනීම්

0 ප්‍රතිචාර:

Post a Comment