5/12/2019

සත්‍ය ජාතිකත්වය සොයමින් සිටිමි

Posted by thirdeyelk with No comments
ශ්‍රී ලංකාවේ මෑතකදී සිදු වූ වියසනයත් සමග  සිංහල  ජාතිකත්ව හැඟීම (පුරවැසි නොවෙයි ) ප්‍රබල ලෙස උද්දීපනය වී ඇති බව පෙනේ. දමිළ ජනතාව සහ මුස්ලිම් ජනතාව තුළ ඇත්තේ නිහඩතාවයක් ද නැති නම් අප ඔවුන් ගේ සමාජ මාධ්‍යන්ගේ බැහැරව සිටිම දැයි නො දනිමි 

ජාතිකත්වය යනු ස්ව ජාතියට ආදරය කිරීම සහ එහි පුනර්ජීවනයට  කටයුතු කිරීම ලෙස ගත හොත්, ජාතිය වෙනුවෙන් පෙනී සිටින සියලුම ජාතිමාමකයන් තුළ 
එකී ලක්ෂණ අන්තර්ගතව තිබිය  යුතු ය .

කරුණු එසේ වුව ද අප දකින ජාති මාමකයින්  තුළ පවතින වෙනත් පොදු ලක්ෂණයක් නම් හඳුනා ගත හැක. ඒ නම්  තම පුද්ගලික අවශ්‍යතා සඳහා ජාතිකත්වය වලංගු නොවුව ද අන් සමාජය තුලින්  ජාතිකත්වය උපරිම ලෙස බලාපොරොත්තු වීමයි.

මෙම උදාහරණ කිහිපය බලන්න .

ඔබ රෝහලක සේවය කරයි නම් ඔබට සහ පවුලේ අයට බෙහෙත් ගැනීමට පෝලිමේ සිටීම අවශ්‍ය නැතැ යි ඔබ සිතයි.

ඔබ රෝහලේ සේවය නොකරයි නම් ඔබ දන්නා අදුනන රෝහල් සේවකයෙකු හරහා ඔබේ අවශ්‍යතාව ඉක්මනින් කර ගැනීම වරදක් නොවන බවද  ඔබ සිතයි 

අනෙක් අතට ඔබ රෝහලේ සේවය කරද්දී ඔබ දන්නා අඳුනන අයට ඉක්මනින් සේවය සපයා දීම හොඳ  මානුෂික ගුණාංගයක් ලෙස ඔබ සිතයි 

රෝහලේදී යමෙකුට උදව් කිරීම නිසා ඔබට ලැබෙන යම්  මුදලක් භාර ගැනීම ඒ තරම් ලොකු වරදක් නොවන බව ද ඔබ සිතයි

එසේ තිබිය දීම...... විදුලි බල හෝ ඉන්ධන  සංස්ථාවේ සිදු වූ දූෂණයට අදාල නිලධාරීන්ට උපරිම දඬුවම් දීම වෙනුවෙන් ඔබ ද පෙනී සිටි යි.

මෙය නියම ජාති මාමකත්වය ද .

තවද රටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයන් තුළ ද ඉතා ප්‍රබල ජාති මාමකත්වයක් දැකිය හැකිය.

ඔවුන්ගෙන් සමහරෙක් විදේශයන් හි සිටින්නේ සරණාගත විසා මත ය . එහෙනම් ඔවුන් එම රටට දන්වා ඇත්තේ සිය මව් බිම ඔවුන් ගේ ආරක්ෂාව සැපයීමට උනන්දු නොවන, අසමත්, දූෂිත  රාජ්යයක් බවයි . (සරණාගත වීසා මත සිටින ඉහළ බහුතරය සත්‍ය සරණාගතයින් නොවන බව ද සලකන්න )

තව ද ලංකාවට එවන මුදල ට ඉහළම රුපියල් අගයක් ලැබීම ද ඔවුනට සතුටට කරුණකි . 

ලංකාවට එවනු ලබන සුඛෝපභෝගී භාණ්ඩයක ට කිසි යම් නිලධාරියෙකු   හරහා රේගු බදු  අවම කර ගත හැකි නම් ඒ පිළිබඳව ද ඔවුන් ආඩම්බර වෙයි .

එසේ වුව ද ඔවුන්ගේ  ෆේස්බුක් පිටුවේ ඉහළින් ම දිදුලන්නේ ලංකාවේ අභිමානයයි.

පෙනී සිටින්නේ ලංකා වේ දූෂණ මුලිනුපුටා දැමීමට යි.

අත්වැල් බැඳගන්නේ රටේ ආර්ථිකය නැංවීමට යි.

මෙය නියම ජාති මාමකත්වය ද 

...... සත්‍ය ජාතිකත්වය තවමත් සොයමින් සිටිමි ............

Photo from facebook
හැගීම් - දැනීම්

0 ප්‍රතිචාර:

Post a Comment