4/18/2020

කොරෝනා වෛරසය තුලින් ලංකාව දුටිමි

සයිබ අවකාශය තුල මේ වන විට වැඩියෙන්ම සටහන් ව ඇති   වචනය  වචනය කොරෝනා  විය යුතුය.

මෙම උවදුරෙන් මිදෙනු පිණිස , එය ආරම්භ වූ චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා වූ සියලු රටවල් ගනිමින් සිටින වැඩ පිලිවෙලවන්  එකිනෙකට වෙනස් ය. ඒ, ඒ රටවල පවතින සමාජ, දේශපාලන, ව්‍යවස්ථාමය  ආදී වෙනස් කම් හේතු වෙනි .  කොරෝනා  ලක්ෂණ පෙන්වන්නකුට  දින 7 ක් සිය  නිවස තුල සිට නිරෝධනය  වන ලෙස එක්සත් රාජධානියේ සිටින රෝගියෙකුට වෛද්‍ය වරු උපදෙස් දෙන  විට, ලංකාවේ එම රෝගියාව  රෝහල් ගත කර , නිවසේ සිටි අනෙකුන්  (සමහර විට ගම්මානයම) නිරෝධායනයට යොමු කරනු ඇත. පෙර කීවක් ලෙස එය එකී රටේ පවතින අනෙකුත් කරුණු මත තීරණය වන බැවින් , එක්  ක්‍රම වේදයක් අනෙකට වඩා හොදයි හෝ නරක යයි මිව නොහැක.

නමුත් අප රටේ දේශානුරාගයෙන් දැඩි පිරිස් (උගත්, සහ දේශපාලකයන් පවා),  බොහෝ විට ශ්‍රී ලංකාවේ සහ  අනෙක් රටවල, මේ අවස්ථාවේ කොරෝනා  උවදුර මැඩලීම සදහා ගනු ලබන ක්‍රියාමාර්ග සහ ප්‍රතිපලයන්  සංසන්දනය කරමින් ,  ලෝකයේ හොදම රට ලංකාව ලෙස දකින්නට උත්සහ කරනු දැකීම කණගාටුවකට කරුණක් වන්නේ, එය යතාර්ථය නොවන බැවිනි. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ  ලෙස, සැබවින්ම අනෙකුන් පරදා ලද ජයග්‍රහණය කට එය සමාන නොවේ.  අනෙක් අතට සැබෑ  දේශනුරාගයද එය නොවන බව සිහි කලයුතුය.

මේ අවස්ථාවේ විදේශයන් වල සිටින බොහෝ  පිරිස් සිය මව් රටට යාමට මනාපයක් දැක්වීම සාමාන්‍ය කරුණකි. එයට හේතුවක් තිබේ. විදේශ රටක සිටින විට එම රටේ පුරවැසියෙක් වී නැතිනම්, එම රටෙ පුරවැසියන්ට ලැබෙන  ආරක්ෂාව ඒ සමානවම, අනෙකුත් පිරිස් වෙත නොලැබීමයි. එබැවින් මෙවැනි අනපේක්ෂිත අවස්ථාවකදී, විදේශයන් හි සිටින අපේම ජනතාවට සිය මවුබිමට  ඒම  සදහා, අද රුපවාහිනී වල දක්නට ලැබෙන පරිදි , අසරණව බැගැපත් වෙමින් ඉල්ලීම් කිරීමට අවස්ථාව නොසැලසිය යුතු නොවේද?

අනෙක් අතට මෙය ලෝකවාසී ජනතාවම , මෙම උවදුරින් මිදීම සදහා ලංකාවට එන්නට කරනු ලබන ඉල්ලීමක් නොවන අතර, ඒ ඒ ජන පිරිස් තම තමන්ගේ  මව්බිම් කරා යාමට උත්සහ කරන අවස්ථාවක, විදේශගත ශ්‍රී ලාංකිකයන් තම රටට ඒමට කරන වෑයමකි.

රෝගයක් බෝ වී රෝහලකට යන පුද්ගලයකුගේ මනස ව්‍යාකුල  බැවින්, එම පුද්ගලයකුගෙන් ලැබෙන තොරතුරු මත යැපී , පසුව  නිවැරදි තොරතුරු සගවුවා  යැයි  රෝගීන්ට දෝෂාරෝපණය කිරීම සුදුසුද නැතිද යන්න අපි සිතා  බැලිය යුතුය. විශේෂයෙන්ම කොරෝනා   රෝගයේ , රෝග  ලක්ෂණ පවා එකිනෙකට වෙනස් වන විට  සහ මෙම වෛරසයේ  හැසිරීම පිළිබද වෛද්‍යවරුන්  පවා තවමත් අධ්‍යනය  කරමින් සිටින  විටෙක, රෝගීන්ට එතරම් වගකීමක් පැවරීම සුදුසු නොවේ.

රෝගයක් බෝවීම, කිසිවෙක් කැමැත්තෙන් සිදු කර නොගන්නා  අතර, අනෙකෙකුට බෝ වනවා මිස, බෝ කිරීමක් සිදු නො කරන බවද අපි වටහා  ගෙන නොමැති බව, ජනමාද්‍ය තුල කතා කරන පිරිස් දෙස බැලීමේදී පෙනේ. එසේ තිබියදී  පෞද්ගලික නාලිකා  නිවේදකයකු  මේ වසරේ ඔහුට අවුරුදු සැමරීමට නොහැකි වුයේ  කොරෝනා වැළදුණු " ශ්‍රී ලාංකික " රෝගීන් පිරිසක් නිසා බවත්, එම ක්‍රෝධය, එම වැඩසටහන බලන ප්‍රේක්ෂකයන් තුලද පවතිනු ඇති  බවත් මෑතකදී ප්‍රකාශ කරනු දුටිමි. මහා බලවතුන්  යයි සිතා ගෙන සිට, මේ වන විට කොරෝනා  උවදුර නිසා වැටී  ඇති යයි  කියන  දියුණු රටක  සිට ඔහු එම ප්‍රකාශය කරනු ලැබී  නම්, ඒ ඔහු ජනමාධ්‍ය තනතුර දරන අවසාන දිනයද  වන්නේය.

ඒ අනුව පෙනීයන්නේ, මුලින්ම කිවා සේ කොරෝනා මැඩලීම සදහා ඒ ඒ රටවල් ගනු ලබන පියවරයන් වෙනස් වන්නා   සේම, හරි වැරැද්ද  , සුදුසු නුසුදුස්ස , නීතිය  අනීතිය  ආදීය  සදහා වූ  නිර්ණායකයන්ද  රට රට වලට අනුව වෙනස් වන බවය.

No comments:

Post a Comment